07 September 2014

ජැක් ගැසීම, ජැක් වීම කාන්තාවට පුරුෂයන්ට එරෙහි ප්‍රචන්ඩත්වය....




      ජැක් ගැසීම හෝ ජැක් වීම ප්‍රධාන මාතෘකාවක් කර ගෙන ඇරඹුන අදාල සංවාදයන් ස්ත්‍රී පුරුෂ සුරතාන්තය, ස්වයං වින්දනය, ලිංගික තෘප්තිමත් බව ආදරය ආදී එකී නොකී අන්ත රාශියක් කරා අඩු වැඩි වශයෙන් විකාශනය වීමක් දක්නට ලැබුනි.
අදාළ සංවාදය මෙන්න මෙතනින්
අදාල සංවාදයේදී එක්තරා බ්ලොග්කාරියක් බ්ලොක්කරුවන් රැසකගේ නිර්දය විවේචනයට ලක්වීමත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇය විසින් ඇයගේ බ්ලොගිය ආරාධිතයන්ට පමණක් සීමාවීමත් එහි අතුරු කථාවක් ලෙස සටහන් කල හැකිය.
ජැක් ගැසීම හා ජැක් වීම සම්බන්ධයෙන් අපේ රටේ පොදු ප්‍රවාහන සේවාවල නිරන්තරයෙන් ගමන් කරන අපටද අත්දැකීම් රැසක් ඇත. එහෙත් මෙහිදී අපගේ බලපොරොත්තුව වන්නේ ජැක් ගැසීම සම්බන්ධයෙන් වන අත්දැකීම් මත පාදකවී මනෝ මූලික නිගමනවලට එළඹීම නොව එහි සමාජමය පැතිකඩ හා වලංගුභාවය පිළිබඳව අදහසක් සාකච්ඡා කිරීමය.
පොදුවේ ගත් කල ජැක්කරණය (ජැක් ගැසීම හා ජැක් වීම) යනු ප්‍රාථමික ලිංගික හැසිරීමකි. අදාල සංවාදයේදී බොහෝ දෙනා ඉදිරිපත් කරන ලද  “දෙන්නා කැමති නම් අපිට මොකටද” යන තර්කය අතිශයින් බොළඳ එකකි. ඒ තර්කයට අනුව නම් පොදු ප්‍රවාහන සේවයකදී කාන්තාව කැමති නම් පිරිමියා විසින් ඇයගේ ජංගිය ඇතුලට අත දමාගෙන ගියාටද අනෙක් මඟීන් කළබල විය යුතු නැත. පොදු ප්‍රවාහන සේවා වලදී ලිංගික කටයුතු වල යෙදීම අපුල දනවන හා සමාජයෙන් බැහැර කල යුතු දෙයක් බවට විවාදයක් නැත. කෙසේ වෙතත් ජැක්කරණය ලාංකීය සමාජයේ අතිශය සුලබ සංසිද්ධියක් බවට පත්වීම හා බැඳුනු සමාජමය කාරණාවන් පිළිබඳව සමහර බ්ලොග්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද විග්‍රහයන් සමඟ අපි ද එකඟ වෙමු. එහෙත් ජැක්කරණය යනු ඉදිරි පරිණාමයක් බලාපොරොත්තුවන සමාජයක් විසින් බැහැර කළ යුතු දෙයක් බවට වන සරල සත්‍යය එමඟින් යටපත් කර දැමීමට නොහැක. “සමහර” ජැක් වලට කාන්තාවන් කැමති වීමේත්, “සමහර” ජැක් වලට අකමැතිවීමේත් කරුණ හුවා දක්වමින් ජැක්කරණය සාධාරණීකරණය කල නොහැක.
මෙසේ ජැක්කරණය සාධාරණීකරණය කිරීමට බොළඳ තර්ක ඉදිරිපත් කිරීම මඟින් සිදුවන්නේ එයට එරෙහි සමාජමය ප්‍රතික්‍රියාව දුබල කිරීමකට ලක්වීමය. අප විසින් නිරීක්ෂණය කරන ලද අන්දමට ඉතා විශාල කාන්තාවන් පිරිසක් දිනපතා මෙමඟින් අතවරයට ලක්වන අතර ඒ සම්බන්ධව විරෝධය දැක්වීමට යාමෙන් අදාල කාන්තාවන් තවදුරටත් අපහසුතාවයට පත්වීම වන තරමටම එය අතිශයින් සාමාන්‍යකරණයවී ඇත.
බ්ලොග්කරණයේ යෙදෙන ලාංකීය සමාජයේ උගත් යැයි පිළිගත් කොටසට අයත් වන පිරිමින් බහුරතයක්ද මෙම ක්‍රියාව සාධාරණීකරණය කරමින් හෝ එය නොසලකා හැරිය යුතු දෙයක් ලෙස සැලකමින් කථා කිරීම අතිශයින්ම කණගාටුදායක තත්වයකි. බොහෝ අදහස් දැක්වීම් වලින් පෙනී ගියේ තමන්ගේ පුද්ගලික අත්දැකීම් මත පමණක් පදනම් වී පොදුවේ ගත් කල එමඟින් අසාධාරණයට / අතවරයට / පීඩාවට පත්වන කාන්තාවන් ගැන නොසලකා හැර ඔවුන් කථා කර ඇති බවයි. ජැක් වීමට ලක්වීම මඟින් යම් කිසි කාන්තාවන් පිරිසක් තෘප්තිය ලබන්නා සේම එවැනිම විශාල කොටසක් එමඟින් අතවරයට භාජනය වන බව ඔවුන් අමතක කර දමා ඇත.
අනෙක් අතට කාන්තාව එයට කැමති දැයි, නැත්දැයි යන්න දැන ගැනීම සඳහා ද එක්තරා දුරකට එම ක්‍රියාවෙහි නිරත විය යුතු බැවින්, එම ප්‍රතික්ෂේප කරන අවස්ථාව දක්වා ඔවුන් අතවරයට ලක් කර, කාන්තාව අකමැති අවස්ථාවේදී  ස්වේච්ඡාවෙන් ඉන් ඉවත්වීමට පිරිමින් වෙත කුමන පනතකින් කුමන ආකාරයට නීතිමය නිදහසක් දී ඇත්දැයි දැන ගැනීමට අපිත් කැමතිය.
සඳහන් කළ යුතු විශේෂ කාරණයක් වන්නේ කාන්තාවන් හැරුණු කොට පොදු ප්‍රවාහන සේවයේදී ලිංගික තෘප්තියක් ලැබීම විනෝදාංශයක් කරගත් පිරිස නිසා ළමයින් හා තරුණ පිරිමි ළමුන් රාශියක් ද එවැනිම අතවරවලට ලක්වන බවයි. බොහෝ විට ඔවුන් ගැන සමාජයෙන් කිසිම සංවේදී බවක් එල්ලවන්නේ නැත. අතවරවලට ලක්වන්නේ කාන්තාවන් පමණක් බව අප සමාජයේ බහුතරයකගේ මතයයි.
මෙවැනි දෑ මුලිනුපුටා දැමීම ලංකාව වැනි දියුණුවෙමින් පවත්නා සමාජයක් පවතින රටක අතිශයින් අපහසු කටයුත්තක් බවට සැකයක් නොමැති අතර අපගේ අදහස වන්නේ එමඟින් අතවරයට ලක්වන පිරිස අවම කර ගැනීම සඳහා එයට විරුද්ධව සමාජමය මතයක් ඇති කිරීමයි. එය ඇති කිරීමට කල යුතු සටන අතිශයින්ම අසීරු බව පෙනී යන්නේ ඉහත දැක්වූ ආකාරයට උගත් යැයි සම්මත සමාජයේ පිරිස්ද මෙවැනි අපචාරයන් අනුමත කරමින් කථා කරන වටපිටාවක අප ජීවත්වීම නිසාය.
*****************************************************
එහි අතුරු ප්‍රතිඵලය වූ සංවාදයට ලක්වූ සටහන්වලින් කිහිපයක් රචනා කරන ලද බ්ලොග්කාරියව පිරිමි බ්ලොග්කරුවන් පිරිසක් විසින් ඩීඩොස් ** ඇටෑක් එකක් කර අඩපණ කර දැමීමට තැත් කිරීමද අතිශයින්ම පිළිකුල් සහගත පුරුෂෝත්තමවාදී ක්‍රියාවකි. එතරම් පහර දීමකට ලක්වීමට තරම් “අපරාධයක්” එම බ්ලොග්කාරියගේ අදාල සටහන්වල පිටකොටුව විසින් නොදකින ලද අතර මතවාදී ස්වරූපයකට එහා ගිය පළිගන්නා ස්වරූපයකින් අදාල බ්ලොග්කරුවන් හැසිරී ඇති බව මැදිහත්ව කරුණු නිරීක්ෂණය කළ ඕනෑම අයෙකුට පෙනී යයි.
* ජැක් ගැසීම – පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන කාන්තාවකගේ / පිරිමියකුගේ ශරීරය ස්පර්ශ කිරීමෙන් හෝ තමන්ගේ ශරීරය ඔවුන්ට ස්පර්ශ වීමට සැලැස්වීමෙන් ලිංගික තෘප්තියක් ලබා ගැනීම
ජැක් වීම – ඉහත ක්‍රියාවට ලක්වීම
** DDOS – Distributed Denial Of Service – සංවිධානය වූ හැකර්වරු රාශියක් විසින් ස්ථාන  රාශියකින් විශාල දත්ත ප්‍රමාණයක් එකවර යොමු කර වෙබ් අඩවියක් අකර්මන්‍ය කිරීම හැඳින්වීමට මේ යෙදුම පරිගණක විද්‍යාවේදී භාවිතාවේ. (ඉහත භාවිතා කර ඇත්තේ වටකර පහරදීමක් යන තාක්ෂණික නොවන අරුතිනි.)
+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+

Follow us

පැමිණි උදවිය